Monday, June 23, 2014

මට ඉස්සර මතකයි සඳුදා දිනවල රාත්‍රී අටයි තිහට ගුවන් විදුලි යන්ත්‍රය වටා ගෙදර කට්ටියම  එක් වී එක ලස්සන කතාවක් අහනව.


උඹලට මම කියන්නේ හොඳින් .. ආරච්චිල හඬ අවදි කරයි.
මොකද ආරච්චිලා බොලා මාව හිර කරන්ඩයි මේ දඟලන්නේ .. මේ සේරම කතාව මට  ආරංචියි .. හොඳයි ඒකත් මම බලා ගන්නං.
ගැඹුරුම ගැඹුරු වෙඩික්කාරයාගේ කටහඬ ඈතට ඈතට පාවී යයි.


ආයෙ ඉතින් කැටයම් ඕනි නෑ. ඒ තමා

 'මුවන්පැලැස්ස'

ඔයාලටත් මතකද?

1964 මාර්තු මාසයේ දී තමයි මුවන්පැලැස්ස මුලින්ම ගුවන්ගත වුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එය වැඩිම කාලයක් ප්‍රචාරය වුණු නාට්‍යය ලෙස වාර්තාගත වුණා. නිදහසට පෙර සමයේ, පිටිසර කැලෑබද ගම්මානයක එදිනෙදා ජන ජීවිතය වටා ගෙතී තිබුණු අපූරු කතාවක් වූ මුවන්පැලැස්ස නාටකයේ දී අප හමුවූ, , කදිරා, බිනරමලී, කොමලී, වෙඩික්කාරයා, ඉස්කෝලේ මහත්තයා, කදිරා, පිනා, වෙද මාමා, නාමලී, එතනහාමී යනාදී විවිධ ගැමි චරිත අතර කැපී පෙනුනු එක් ප්‍රධාන චරිතයක් වූයේ ගමේ ආරච්චිල ගේ චරිතයයි. මේ චරිත අපි ඇහෙන් දුටුවෙ නැතත් මනසින් ඔවුන්ට ඇලුම් කළා.

ආරච්චිල ගේ චරිතය, රාජ නීතියේ නමින් ගමේ අසරණයින් ට තම ආධිපත්‍ය පෙන්වා ඔවුන් තැලීය, පෙලීය. නමුත් ගමේ දඩබ්බරයා වූ කදිරා වැන්නන් ඉදිරියේ බියගුල්ලෙක් විය. හුදෙක් ම කළු චරිතයක් බවට හැඳින්විය හැකි ආරච්චිල, එය එසේ වූවද, මුවන්පැලැස්ස ගමේ වීරයින් ගේ, පණ්ඩිතයින් ගේ චරිත පරදවා ශ්‍රාවක ජනතාව අතර වඩාත් ජනප්‍රිය චරිතය බවට පත්වූයේ වෙන කිසිදු කරුණක් නිසා නොව එම ආරච්චිල චරිතයට තම හඬ මුසු කොට පණ පෙවූ විජේරත්න වරකාගොඩ නමැති කලාකරුවා නිසා බව කීම කිසිසේත් ම අතිශයෝක්තියක් නොවේ.


විජේරත්න වරකාගොඩ (ආරච්චිල), වික්ටර් මිගෙල් (වෙඩික්කාරයා), නෙතලි නානායක්කාර (බිනරමලි) , ධර්ම ශ්‍රී මුණසිංහ (පිනා), ගැමුණු විජේසූරිය (වෙදරාළ), රත්නාවලී කැකුණවෙල (මැණිකේ)....


 මුදලිනායක සෝමරත්නගේ වසර පනහක සේවාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වැදගත් වනුයේ ඔහු වර්ෂ 1964 පටන් ගුවන්විදුලියට රචනා කරන ලද 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය දීර්ඝ කාලයක් තුළ ප්‍රචාරය වූ එකම ගුවන්විදුලි නාටකය ලෙස ලෝක සන්නිවේදන ඉතිහාසයට දැනටමත් එක් වී ඇති බැවිනි. 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකය යනු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පමණක් නොව, අනිකුත් සියලුම එෆ්.එම්. නාලිකා නිෂ්පාදනය කරන ලද සෑම නාටකයකටම වඩා ‍පොදු ජනයා අතර ජනප්‍රිය වූ එකම ගුවන් විදුලි නාටකයයි. එහි ජනප්‍රියතාව අදද නොනැසී පවතී. සැබවින්ම 'මුවන්පැලැස්ස' ගුවන් විදුලි නාටකය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ලබාදුන් ආලෝකය ඉතා විශාලය. එහි ආරම්භක නිෂ්පාදිකාව වූයේ නන්දා ජයමාන්න ඒ සම්බන්ධව කරන ලද කැපවීමද ඉතා විශාලය.

 'කෝර‍ලේ මහත්තයා'ගේ චරිතයට පන ‍පොවන විජේරත්න වරකාගොඩ අදද තවමත් එම චරිතය නිරූපණය කරමින් ලෝක ගුවන් විදුලි නාට්‍යය ඉතිහාසය තුළ එකම ගුවන්විදුලි නාට්‍යයක එකම චරිතය වැඩිම වාර ගණනක් රඟපෑ ගුවන්විදුලි ශිල්පියා වශයෙන්ද ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. එම චරිතය එම නාටකයෙහි කේන්ද්‍රීය චරිතය බවට පත්වෙමින් එදා සිට අද දක්වා ශ්‍රාවකයන්ගේ නොමඳ ජනප්‍රියතාවයට පත්වී ඇත්තේ බාල, වැඩිහිටි, මහලු යන සෑම වයස් ඛාණ්ඩයක් තුළම නොමැකෙන මතක සටහන් රාශියක්ද ශේෂ කරවමිනි. 'මුවන්පැලැස්ස' ‍පොදු ජනයාගේ ජනප්‍රියම ගුවන්විදුලි නාටකය වූවා සේම, එහි තේමා සංගීතයද සෑම ශ්‍රාවක මතකයෙන් ගිලිහී නොයන සංගීත ඛණ්ඩයක් වී තිබේ. එම නාටකය ග්‍රාමීය සමාජය පසුබිමෙහි බිහි වුවත් එහි තේමා සංගීතය උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරෙහි බිහිවී ඇති නාද මාලාවකින් පිරිපුන්ය. එහෙත් එය ශ්‍රාකයන් ආදරයෙන් වැළඳගත් අතර එම තේමා සංගීතය ඇසුරෙහි ඔවුන් ලද වින්දනයද අපරිමිතය. අද පවා එම සංගීත ඛණ්ඩය ඇසෙන ඕනෑම මොහොතක අපගේ මතකය ඉතා ඈත අතීතයක් වෙත අපව රැගෙන යනුයේ 'මුවන්පැලැස්ස' නාටකයෙහි චරිත එකිනෙක අපගේ මතකයෙහි පෙළ ගස්වමිනි.

'මුවන්පැලැස්ස' හා බැඳුණු ඉතා රසවත් අතීතයක්ද ඇත. එය මුල් යුගයෙහි කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත් එකල ‍පොලිස් වාර්තාවන්ට අනුව වැඩිම සොරකම් ප්‍රමාණයක් සිදුවී ඇත්තේ එය ප්‍රචාරය වන කාල සීමාතුළදීය. එමෙන්ම මහා මාර්ගයන්හී අධික වාහන තදබදයක් පැවතී ඇත්තේද මොහොතේය.

එමෙන්ම සර්. ජෝන් කෝතලාවල හිටපු අගමැතිවරයා නිවසෙහි රාත්‍රී කෑම නිසි වේලාවට නොලැබෙන්නේද ඔහුගේ අරක්කැමියන් අතින් බත් මුට්ටි කරවෙනුයේද 'මුවන්පැලැස්ස' නිසාය. එහෙයින් එය රාත්‍රී 12.00 ට පමණ විසුරුවා හරින ලෙස ඔහු ගුවන් විදුලියෙන් ඉල්ලීමක්ද කර ඇත. මෙවැනි යුගයක් එකල ගුවන්විදුලි නාට්‍ය කලාව සතුවිය. මුවන්පැලැස්ස එහි අග්‍ර ඵලයයි. එහෙයින් එහි සැබෑ ගෞරවය මුදලිනායක සෝමරත්නයන්ට හා එහි නිෂ්පාදිකා නන්දා ජයමාන්නහට හිමි විය යුතුය.

මේකත් බලලම යන්ටකො - https://www.youtube.com/watch?v=CoAwqOkgrhs

gamunu wijesuriya

Rathnawali Kakunawela

ධර්ම ශ්රීා මුණසිංහ

නෙතලි නානායක්කාර

මුදලිනායක සෝමරත්න 

මුදලිනායක සෝමරත්න 

වික්ටර් මිගෙල්



1 comment: